FAST NEWS

24×7 Around the Globe

අය වැය සම්මත වුණොත් විදුලිය, ලංගමය, වරාය, දුම්රිය, අධ්‍යාපනය අකුරට.

19 වැනිදා අය වැය සම්මත වුණොත් විදුලි, ලංගම, වරාය, දුම්රිය, අධ්‍යාපන ඇතුළු වෘත්තීය සමිති එකතු වී  අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සුදානම් බව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

කම්කරු ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය අය පවා අය වැය දෙවන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් බවද හෙතෙම කියා සිටියේය.

මීට පෙර කිසිම අය වැයකට මෙවැනි විරෝධතා ඇවිත් නැති බවත්, රාජ්‍ය ආයතන හා සංස්ථා පෞද්ගලීකරණය කිරීමට එමඟින් යෝජනා කර ඇති බවත්, ඔහු පැවසීය.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ හා කෘෂිකර්ම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා එහිදී පැවසුවේ බත් කන්නේ නැති ඇමතිවරු පිරිසක් පොහොර සහනාධාරය කපා හැර මුදල් ලබාදීමට තීන්දු කර ඇති බවයි.

අගමැති තනතුර ළමයෙකුට දුන්නා නම් හොඳ යැයිද හෙතෙම පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුව ඇමතු ලංකා නිදහස් ගුරු සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ
මංගල අය වැයෙන් රට ඇවිලි ඇති බවයි.

ගුරුවරුන් බඳවා ගැනීම, පහසුකම් ගාස්තු, ගුරු වැටුප් ගැන අය වැයේ සඳහන් කර නැති බවත්, එය අධ්‍යාපනය  පෞද්ගලීකරණය කිරීමේ මූලාරම්භයක් බවත්, ඇය පෙන්වාදුන්නාය.

ජනපති ද සිංදු කියමින් රට වටේ යන බව ඇය කියා සිටියාය.