FAST NEWS

24×7 Around the Globe

“එතුමාට කෑගහල, එතුමා අසරණ කරලා, එතුමා බිත්තියට හේත්තු කරලා – සේනාධිපති

සිය සමාගමේ කටයුතු නාවික හමුදාව වෙත පවරාගැනීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්‍රාමික හමුදා නිලධාරීන් හය දහසකගේ ජීවිකාව අහිමි කර ඇති බව පවසන ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා, එසේ විශ්‍රාමික හමුදා සෙබළුන්ට රැකියා අහිමිවීම පිළිබඳව දැන සිටියේ නම් ජනාධිපතිවරයා තම සමාගම සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගනු ඇති බව තමන්ට සහතික යයි පවසයි.

“මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ,” නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

“එතුමාට කෑගහල, එතුමා අසරණ කරලා, එතුමා බිත්තියට හේත්තු කරලා තමයි ඕක කරලා තියෙන්නේ.”

තමන් කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු නොවූ බව ද ඔහු අවධාරණය කර සිටියි.

කීර්තිනාමය ?
අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානියා, එනමුත් ඇතැමුන් සිය කීර්තිනාමයට අපහාස කර ඇති බව ‘බීබීසී සංදේශය’ට පැවසීය.

නිශ්ශංක සේනාධිපති මහතා ඒ බව කියා සිටියේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (08) ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදිය.

නිශ්ශංක සේනාධිපති සිය කීර්තිනාමයට හානි කළ බව පවසමින් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ චම්පික රණවක අමාත්‍යවරුන් මීට ඉහතදී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

ඒ පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව තහවුරු කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා, මින් ඉදිරියට ගතයුතු පියවර විමර්ශකයන් විසින් තීන්දු කරනු ඇති බවත් සඳහන් කළේය.

සාපරාධී අපහාස නීතිය :
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාපරාධී අපහාස නීතිය අවලංගු කර ඇති බැවින් කීර්තිනාමයට හානිකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියට ගත හැකි පියවරක් නැති බව, නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඇතැම් අමාත්‍යවරුන් තමාගේ සහ සිය සමාගමේ කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය. “මට අවශ්‍ය කටයුතු මම ඉදිරියේදී කරගෙන යනවා.”

‘ගිවිසුම දීර්ඝ කළා’
අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, සිය ව්‍යාපාරය නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 15 වැනි දින තමන් සමඟ පැවති සියලුම ගිවිසුම් තවත් වසර පහකට දීර්ඝ කළේ මන්දැයි  ප්‍රශ්න කරයි.

මීට ඉහතදී ‘සත්හඬ’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ අඩංගු කරුණු සනාථ කිරීමට තමන් සතුව සාක්ෂි තිබෙන බව නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

ආයුධ රැගෙන රතු මුහුදේ සිට ගාල්ල වරායට ලඟා වූ ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නෞකාවක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.