FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් මුදලට මාධ්‍යවවේදිනුත් යට වෙයි.

ඇවන්ගාඞ් ආයතනයෙන් මාධ්‍යවේදීන් මුදල් ලබාගත් බවට ආන්දෝළනයක් රට තුළ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ අපේ රටේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඉතා ප‍්‍රශස්ත මට්ටමින් සිය පෑන හසුරුවන අතර සුළු පිරිසක් තමන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් පෑන හසුරුවන බවයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක –

එවැනි මාධ්‍යවේදීන් පුවත්පත්වලත් වෙබ් අඩවිවලත් කටයුතු කරනවා. ඔවුන් පිළිබඳ විස්තර අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කරන්න අපි සූදානම්.

ඒ පිළිබඳ ඉඟියක් මට ලබාදෙන්න පුළුවන්. පසුගියදා වංචා දූෂණ සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේදී විවාදයකට සහභාගි වුණා.

පුවත්පත් දෙකක් හැර අනෙකුත් සියලූ පුවත්පත් පසුවදා වාර්තාකර තිබුණේ ඇවන්ගාඞ් ගනුදෙනුව නීත්‍යානුකූලයි කියලා.

සමහර මාධ්‍ය ආයතන ඇවන්ගාඞ් වර්ණනා කරමින් ලිපි පළකළා. එවැනි ලිපි පළකරන්නේ කොහොමද ? සමහර වෙබ් අඩවි වංචා දූෂණ ගැන කෑ ගසමින් ඇවන්ගාඞ් රකිනවා.

ඇවන්ගාඞ් ගනුදෙනුව දූෂණයක් පමණක්නොව ඒ තුළ දේශපාලනයකුත් තිබෙනවා. හෙට දින ඇවන්ගාඞ් මගින් අපේ රටේ මාධ්‍ය හසුරුවනවා නම් දේශපාලනය තීරණය කරනවා නම් එම සංස්කෘතියට අපි විරුද්ධයි.

ඒ නිසා ඇවන්ගාඞ් ආයතනයෙන් මුදල් ගත්තේ මාධ්‍යවේදීන් දේශපාලනඥයින් මේ රටේ ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ මේ ප‍්‍රවේශය මාධ්‍යයට එරෙහි ප‍්‍රවේශයක් නොවෙයි. අපි ඉතා වගකීමෙන් කියනවා, මාධ්‍ය මර්දනය සිදුකරන වෙලාවේ මාධ්‍යයට හඬක් නැති වෙලාවේ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා.

ඇවන්ගාඞ් ආයතනය නාවික හමුදාවට පවරා ගැනීමෙන්ම ඔප්පු කර තිබෙනවා ඇවන්ගාඞ් ගනුදෙනුවේ වැරැද්දක් තිබනෙවා කියලා.

ඇවන්ගාඞ් ආයතනය නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසුව ලබන ආදායම ගැන විවිධ කතා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කිරීමෙන් එහි ඇත්ත තත්වය දැනගන්න පුළුවන්.

නමුත් මා වගකීමෙන් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා වසර 2ක් තුළ ඇවන්ගාඞ් සමාගමේ ආදායම රු. බිලියන 35ක් කියලා ඒ වගේම නිශ්ශංක සේනාධිපතිගේ ගිණුම්වලට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ලිපි ලේඛණ මා සභාගත කළා. එම තොරතුරුවලට මා වගකියනවා. නමුත් අනෙකුත් අයගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් අපට වගකීමක් නැහැ.