අය වැය යෝජනා විවේචනය කළ නමුත් විවේචනය කිරීම යනු විරුද්ධව ඡන්දය දීම නොවන බව පවසන විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා, ආණ්ඩුවේ අයවැයට සහාය දීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
දීර්ඝ කාලයකට පසුව දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය භාවිත කළේ මේ වසරේ බවද විපක්‍ෂනායකවරයා පැවසීය.
දෙමළ ජනතාව සන්සුන්ව සහ පරිනතව හැසිරීමට සූදානම් බව ලෝකයට දැනුම් දිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, තමන් ඉදිරියේ දිගු ගමනක් තිබෙන බව කියා සිටියේ මඩකලපුවේ පැවති ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රැස්වීමක් අමතමිනි.
එබැවින් ආණ්ඩුව සමඟ සම්බන්ධතා බිඳ දැමීමට මේ මොහොතේ තමන්ට හැකියාවක් නොමැති බව විපක්ෂනායක වරයා පෙන්වා දෙයි.
ඡන්දයෙන් වැළකී සිටිමට :
මේ අතර අයවැය තෙවන වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පාර්ශවයක් වන ටෙලෝ සංවිධානය පවසයි.
අයවැය දෙවන වර කියවීමේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවේ පසු වන දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට හෝ පුනරුත්ථාපනය කිරීමට රජය කඩිනම් පියවර නොගැනීම හේතුවෙන් අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදීමට තීරණය කළ බව, ටෙලෝ සංවිධානයේ නියෝජ්‍ය නායක එම්කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂ හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත්දැයි විමසීමේදී, “නෑ, ටෙලෝ සංවිධානය වශයෙන් අපේ පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් අරන් ඉන්නේ. ඒ තීන්දුව සන්ධානය ඇතුලේ ඉන්න අනෙක් පක්ෂවලටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ගරු සම්බන්ධන් මහත්මයටත් ඒක දැනුම් දෙනවා,” ඔහු පැවසීය.
(බිබිසි සංදේශය)







