අතුරුදන් වූ එම්එච් 370 මැලේසියා ගුවන් යානය කඩා වැටී ඇති ප්‍රදේශය නිශ්චිතව හඳුනාගැනීමට හැකි වූ බව ඕස්ට්‍රේලියාව නිවේදනය කරයි. ඕස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කළ නව දත්ත විශ්ලේෂණයට අනුව දකුණු ඉන්දියන් සාගරයේ නිශ්චිත ස්ථානයක දැන් සෙවීම් කටයුතු ආරම්භ කැර ඇත.
2014 මාර්තු මාසායේ දි මගීන් 239 දෙනකු සමග ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් සිටිය දී යානය අතුරුදන් විය.
ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති වොරන් ටෘස් පවසන්නේ දැනට ලැබී ඇති දත්ත අනුව යානයට සිදුවූ දෙය සොයා ගැනීම පිළිබඳ ස්ථිර බලාපොරොත්තු තබාගත හැකි බවයි. මේ මෙහෙයුම අවසන් කිරීමට 2016 ජුනි මාසය දක්වා කල් ගතවන බව ද ඔහු අනුමාන කරයි.
වර්ග කිලෝ මිටර 120,000 ක පමණ ප්‍රදේශයක පිරික්සුම් කිරීමට නියමිතය. පිරික්සුම් ප්‍රදේශය පිහිටා ඇත්තේ පර්ත් නගරයට කිලෝ මීටර 2,000ක් ඈතිනි. පිරික්සුම් සදහා මුහුද යට සෙවුම් කරන ඩ්‍රෝන යාත්‍රා, විශේෂිත නැව් හා සෝනාර් උපකරණ යොදා ගැනීමට නියමිතය.
සෙවුම් සිදුකරන ඒකාබද්ධ නියේජිතායතනය පවසන්නේ අතුරුදන් වූ යානයේ යැයි සැකකරන කොටසක් සොයාගත් මැඩගස්කරය ආසන්න රියුනියන් දූපතට පිරික්සුම් ස්ථානයේ සිට කිලෝ මීටර 4,000ක් පමණ දුර බවයි.
යානය සැබැවින්ම මේ ස්ථානයේ කඩා වැටී ඇත්නම් එතැන සිට සාගර දියවැල් මගින් යානා කොටස රියුනියන් දූපත දක්වා ගෙන යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති.







