FAST NEWS

24×7 Around the Globe

හෙද හෙදියන් අඛණ්ඩ වැඩ වර්ජනයකට.

විශේෂ ශ්‍රේණියේ හා 1 වන ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට හා හෙද අධ්‍යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම, වෛද්‍ය සේවයට ගෙවන වෘත්තීය දීමනාවට සමානුපාතිකව හෙද වෘත්තීය දීමනාව ලබාදීම, ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අනතුරු අඟවා සිටියි.

‘ඉදිරි සති දෙක ඇතුළත’ තම වෘත්තීය ඉල්ලීම් ලබා දීමට රජය කටයුතු නොකළහොත්  දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනය කරන බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

හෙද කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන දීමනා සංශෝධනය කර දෙන මෙන් කීප අවස්ථාවකදීම පැවැති රජයේ වගකිවයුත්තන්ට පෙන්වා දුන් අතර එවකට මුදල් අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් පී.බි. ජයසුන්දර මහතා විසින් ඉල්ලීම් හා දීමනා සංශෝධනය කිරීමට එකඟත්වය පළ කරමින් සෞඛ්‍ය ‍ලේකම්වරයාගේ අනුමැතියට දුන් බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කළේය.

ආණ්ඩුව වෙනස් වීමත් සමග මෙසේ සංශෝධනය වූ ඉල්ලීම් අත්හිටු වූ බවත් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් එයට නිසි විසඳුමක් නොලැබුණ බව ආනන්ද හිමියෝ සඳහන් කළහ.