FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගෙන් අයවැය ගැන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට යෝජනාවක්.

2016 වසර සදහා රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (02) පස්වරු 5.00ට සිදුකිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ජාතික රජයක් පිහිටුවා ඇති අවස්ථාවක නිදහස් පක්ෂය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය ඡන්ද විමසීමේදී ගනු ලබන ස්ථාවරය කුමක්දැයි වැඩි අවධානයක් යොමුව ඇත.

කෙසේ වෙතත් මීට පෙර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවන්හිදී එම පක්ෂයේ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවට විවිධ ඉගි පළව තිබිණි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙසයි.

එසේ නොමැතිනම් ඊට එරෙහි නොවී, ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම මේ වනවිට සාකච්ඡාවක නිරත වී ඇත.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ස්ථිර ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.