FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී කලගෙඩි ලාම්පු සෙල්ලමක සැරසෙයි.

මේ වසරේ මුල දී ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ජනමත විචාරණයකට යාමට තම රජය කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රංශයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ‘ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාලිය පිළිබඳව අප කටයුතු කරමින් සිටිනවා. එය සම්පූර්ණ කිරීමට අපට ජනමත විචාරණයකට යා යුතු වනවා. මගේ රජය එය කිරීමට සූදානම්’ ඉරිදා රාත්‍රි පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැස් වූ ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා පැවසුවේය.

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය හරහා පැහැදිලි සහ පුළුල් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වාදීමට අපට අවශ්‍යයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අප හිස නැමිය යුතු වනවා. කෙසේ වුවත් අපි විධායක බලතලවලින් යම් ප්‍රමාණයක් 19 වැනි සංශෝධනය හරහා නීති සම්පාදක වෙත පවරනු ලැබුවා’ යි ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

පසුගිය මාස දහය පුරා රජය සමාජීය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ කෙරෙහි මූලිකවම ඉලක්ක කරනු ලැබුවා. එය අපගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී දෙනු ලැබූ මූලික පොරොන්දුවක්.

හිටපු ජනාධිපති රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ග්‍රහණය කළා නම් රටට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වෙනවා. අපි හුදෙකලා රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර දේශපාලනයේ තනි වුණා. අපි ඒ තත්ත්වය දැන් නැවත හරවා තිබෙනවා. දෙදිනක් ඇතුළත එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩා රාජ්‍ය නායකයන් මා මුණ ගැසුණා. පැරිසියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ ජනාධිපතිවරයා පැවසීය.

රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තරයේදී පලුදු වූ ශ්‍රී ලාංකික නාමය ඉතාමත් යහපත් තත්ත්වයකට ගෙනඒමට තමාට හැකි වු බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,  අද ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ හිත දිනාගත් රටක් බවද ප්‍රකාශ කළේය.

මෝල්ටා රාජ්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව අතරතුර පැය 12ක් වැනි කෙටි කාලයකදී ලෝකයේ ප්‍රබලතම නායකයන් වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට හැකිවීම ඊට කදිම නිදසුනක් බවද පැවසූ ජනාධිපතිවරයා, එය ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකුට මෑත කාලයේ හිමි වූ ස්වර්ණමය අවස්ථාවක් බව ද කියා සිටියේය.