(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයක දැනට විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයකුට තමා පක්ෂපාතී ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් අසත්‍ය හා ද්වේශසහගත ෆේස්බුක් සටහනක් තබා ඇති පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (ඔක්. 20) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහුගේ මෙම ක්‍රියාවෙන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමන්ට මෙන්ම අධිකරණය ඇතුළු සමස්ත නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියම හාස්‍යයට හා ගර්හාවට ලක්කර ඇති බව ද අමාත්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් ය.
මෙම පුද්ගලයා තබා ඇති මෙම හාස්‍යට හා ගර්හාවට ලක් කරන මෙම ෆේස්බුක් සටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති බව ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මෙම ෆේස්බුක් සටහන යොදා ඇති බව සඳහන් වෙන බව ද ඇමතිවරයා පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
ඔහුගේ මෙම ක්‍රියා කලාපයෙන් මෙරට නීති පද්ධතියට කැළලක් ඇති කරනවා සේ ම සමස්ත ජනතාවගේ මනසට අගතියක් ඇති කරනු ලබන බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ද අමාත්‍යවරයා එම පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබේ.
මොහු සිදු කර ඇති මෙම වරදේ බරපතළ ස්වභාවය හා ඔහුට එල්ලවී ඇති චෝදනාව සැලකිල්ලට ගනිමින් එම පුද්ගලයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා සිය පැමිණිල්ල මගින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.








