FAST NEWS

24×7 Around the Globe

කාලගුණයට රතු නිවේදනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණය 19 වන බදාදා තෙක් පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.

මෙම තත්ත්වය යටතේ සුළු ගංවතුර අවදානමක් ඇතිවිය හැකි අතර නාය යාම් ඇති වීමට ඉඩ ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

පුත්තලම, කුරුණෑගල, මාතලේ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 13ක අධිඅවදානම් කලාප ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අදත් (ඔක්. 14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද ජනරාල්වරයා පැවසීය.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද බේරුවල සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60-70 පමණ ඉහළ යාමට ඉඩ ඇති අතර ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල පවතින ගිගුරුම් සහිත වැසි සමග එම මුහුදු ප්‍රදේශ ද ක්ෂණිකව රළු විය හැකි ය.