FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකුවේ සූදානම මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය සතු ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ බැංකු 9 ක ශක්තිමත්භාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ අධ්‍යයනයක් ​සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ වාණිජ බැංකු සමග පසුගිය අඟහරුවාදා (04) කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී මෙම අධ්‍යයනය පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත.

දැනට ක්‍රියාත්මක ඉහළ පෙළේ අනුපාත යටතේ බැංකු සතු ණයවල ගුණාත්මකභාවය කෙරෙහි ඇතිකර තිබෙන බලපෑම මෙම අධ්‍යයනය මගින් තක්සේරු කෙරෙනු ඇත. සාමාන්‍යයෙන් වාණිජ බැංකුවල බාහිර විගණනයට වඩා වෙනස් වූ විගණනයක් ඔස්සේ මෙම අධ්‍යයනය සිදු කිරීමට නියමිතය.

ශක්තිමත් සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිත බැංකු පද්ධතියක් ස්ථාපනය කිරීම සහ සංශෝධනය කරන ලද බැංකු පනතක්ද ඇතුළුව මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන වෙනුවෙන් යෝජනා කෙරී ඇත. මේ වනවිට මෙරට බැංකු පද්ධතිය විසින් රජයට, රජයේ ව්‍යවසායන් වෙත සහ පෞද්ගලික අංශය වෙත ලබාදී ඇති සමස්ත ණය ප්‍රමාණය 2022 අගෝස්තු මස අවසානය වනවිට රුපියල් ට්‍රිලියන 13 ක් ඉක්මවා තිබිණි.