FAST NEWS

24×7 Around the Globe

නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය.

මේ අතර ඊයේ දිනයේ නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී.

කොළඹ බේරේ වැව අසල වර්ග මීටර් 30,600 කින් යුක්ත වපසරියක ඉදිකළ නෙළුම් කුලුන ගොඩනැගිල්ල ඊයේ සිට මහජනතාවට විවෘත කෙරුණි.

ඒ අනුව සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් නෙළුම් කුලුන පිරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.