FAST NEWS

24×7 Around the Globe

‘රාජපක්ෂවරුන්ගේ දේශපාලනය රටට අවශ්‍යයි’

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගෙන යන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඊයේ කැඳවා තිබූ (06) මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මහ ලේකම්වරයා පැවසුවේ, රාජපක්ෂ දේශපාලනය රටට, පක්ෂයට ඇති ශක්තිය බවයි.

රාජපක්ෂවරු නැවතත් තනතුරුවලට පැමිණෙන්නේ ද සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු මහ ලේකම්වරයාගෙන් විමසා සිටියහ.

මේ ඊට පිළිතුරු දුන් පක්ෂ මහලේකම්වරයා..

”මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ බහුතරයකගෙ මතයත් තියෙන්නේ රාජපක්ෂවරුන් ඒ තනතුරුවලින් ඉවත් වෙච්ච වැරදි කියන එක. මේ රටේ හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයා පත්කරාම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ හැටනම ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවකට නෙවෙයි. මේ රටේ රාජපක්ෂලා ආවේ ජනතාවගේ ඡන්දෙන් මිසක් කිසිම දවසක බලහත්කාරයෙන් බලයට ඇවිල්ල නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි කියන ඒ ස්ථාවරයේ”

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

”අපි එතුමාව මුණ ගැහුණා. එතුමා කිසිම දේශපාලනයක් අපි සමග කතා කරේ නෑ. එතුමා එතුමාගේ විදේශගතව හිටපු කාලයයේ එතුමාගේ අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරා. අපිටනං එතුමා පෙන්නුම් කරේ නෑ. කිසිම ආකාරයකින් එතුමාට දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් උනන්දුවක් තියෙනවා කියන එක ”