FAST NEWS

24×7 Around the Globe

කංචනගේ තීරණයට එරෙහිව අද උද්ඝෝෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි.

එම සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල කියා සිටියේ මෙවර අරගලය ආරම්භ කරන්නේ මෙරට සියලුම වෘත්තීය සමිති බවය.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය.

අද(22) බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් කුමන පණිවිඩයන් ඇමැතිවරයා නිකුත් කළද එය නතර නොකරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (21) සඳහන් කර ඇත.