(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතාව අතරතුර පොලිස් කණ්ඩායමෙන් මිදී ගිය බවට සැකකරන රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි මහතා ගැන කිසිදු තොරතුක් ඊයේ (21) දහවල් වනතුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් දා අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග ජෙහාන් අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට අධිකරණය නියෝග කළේ ය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඉකුත් 18 වන දා සංවිධානය කරන ලද විරෝධතාව අතරතුරදී පොලිස් කණ්ඩායමක් ජෙහාන් අප්පුහාමි මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. ඒ, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අනතුරුව ඔහු සැකකරුවන් රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථයට නංවා ගැනීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් පිරිසකට භාර දී ඇතැයි කියති. පසුව නිලධාරීන් එම බසයට ගොස් සෝදිසි කිරීමේදී ජෙහාන් අප්පුහාමි එහි සිට නැත. මේ පිළිබඳ බස් රථයට භාර දුන් නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ, ජෙහාන් අත්අඩංගුවෙන් පළාගිය බවකි.
පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ද ආරම්භ කෙරිණි. ඒ ඔහු පළාගියේ ද නැතහොත් ඔහුට යන්න ඉඩ හැරියේ ද යන්න සෙවීම සඳහා ය.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ඊට සම්බන්ධ නිලධාරීන් කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති බව ය. කෙසේ වෙතත් ජෙහාන් අප්පුහාමි වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයා පවසා තිබුණේ, තම සේවාදායකයා පොලිසිය විසින් කිසිවිටෙක අත්අඩංගුවට ගනු නොලැබූ බව ත් පොලිසියෙන් ඉන්න කියා හෝ දැනුම්දීමක් නොකළ බැවින් ඔහු පිටව ගිය බවත් ය.








