පොලිස් ත්‍යාග අරමුදල නැති වන ලකුණු

පොලිස් ත්‍යාග අරමුදල නැති වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සහ වාහන අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැති බැවින් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් කෝටි 117 ක පමණ මුදලක් වියදම් කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලිවල අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් ද,වාහන අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 87 ක පමණ මුදලක් ද,අත්‍යවශ්‍ය වී ඇතැයි ඇමති ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත

අයවැයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති මුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් පොලිස් නිලධාරීන් දිරිගැන්වීම සඳහා ත්‍යාග ලබාදීමට පිහිටුවා ඇති පොලිස් ත්‍යාග අරමුදලෙන් මෙම මුදල වියදම් කිරීමට ඇමැතිවරයා අවසර ඉල්ලා ඇත.

දෙපාර්තමේන්තුවේ විධිවිධාන අනුව මෙම මුදල් වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට පොලිස්පතිවරයාට බලය පවරා නැති බවද ඇමතිවරයා දැනුම් දී ඇත.

කඩිනමින් සිදුවිය යුතු මෙම අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙම මුදල හැකි ඉක්මනින් වියදම් කිරීමට අනුමැතිය දෙන්නැයි ඇමතිවරයා ඉල්ලා ඇත.