ජෝ බයිඩ්න්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක්

ජෝ බයිඩ්න්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සදහා අමෙරිකා ඩොලර් මිලියන 20 ක අමතර පරිත්‍යාගයක් සිදු කරන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සදහන් කරයි.

අමෙරිකා ජනාධිපතිවරයා, මෙම පරිත්‍යාගය පිළිබද අද පැවති ජී 7 සමුළුවේදී ප්‍රකාශයට පත් කළේය.

මෙරට දරුවන් අට ලක්ෂයකට වැඩි පිරිසකගේ හා 27,000කට වැඩි ගර්භනී මව්වරුන්ගේ මෙන්ම කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් මෙම ආධාරය ලබාදීමට තීරණය කර ඇත.

එසේම අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික ආධාර සහ මුදල් දායකත්වය තුළින් දළ වශයෙන් ගොවීන් 30,000 කට ආධාර කිරීමට ද මෙය සැලසුම් කර තිබේ.

ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රී ලංකාවට මෙම ආධාරය ලබාදීමට කටයුතු කිරීම තුළින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික යහපැවැත්ම, ආහාර සුරක්ෂිතතාව මෙන්ම මහජන සෞඛ්‍ය පිළිබද අමෙරිකා එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීම බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පෙන්වා දෙයි.

මෙම මානුෂීය ආධාර මුදල සපයනු ලබන්නේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහාය.