G-7 සමුළුවේදී මෝදි ශ්‍රී ලංකාව ගැන කියයි

G-7 සමුළුවේදී මෝදි ශ්‍රී ලංකාව ගැන කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජර්මනියේ පැවැත්වෙන G-7 සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් අවධානයට යොමු කර කර තිබේ.

ඉන්දියාවවිසින් ශ්‍රී ලංකාවට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උදව් කරන බව මෝදි එහි දී ප්‍රකාශ කළේය.

“අපි පසුගිය මාස කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලෙස තිරිඟු ටොන් 35,000ක් පමණ යවා තිබෙනවා. එමෙන්ම එහි ඇති වූ දරුණු භූමිකම්පාවෙන් පසුව පවා සහනාධාර ද්‍රව්‍ය ලබා දුන් පළමු රට ඉන්දියාවයි. අපි අපේ අසල්වැසි ශ්‍රී ලංකාවට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් උදව් කරනවා,” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ගෝලීය ආතතිය මධ්‍යයේ ඉහළ යන බලශක්ති සහ ආහාර ධාන්‍ය මිල සියලු රටවලට බලපාන බව අවධාරණය කළ අගමැති මෝදි, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා පොහොර ලබා ගැනීමේ හැකියාව, ඉන්දියානු කෘෂිකාර්මික කුසලතා භාවිතය සඳහා ව්‍යුහගත ක්‍රමය, මෙනේරි සහ ස්වාභාවික පෝෂ්‍යදායී විකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතු බව යෝජනා කළේය.

යුක්‍රේන අර්බුදය පිලිබඳව පැහැදිලි සඳහනක් කරමින්, G-7 සහ එහි සමුලුවට ආරාධිතයින් ගෝලීය ආතති වාතාවරණයක් මධ්‍යයේ රැස්වෙමින් සිටින බව සඳහන් කල මෝදි ඉන්දියාව සැමවිටම සාමයට පක්ෂව සිටින බව පවසා ඇත.