FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10වැනිදා දක්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන තොග අත්‍යාවශ්‍ය සේවා සඳහා නිකුත් කරන බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශය, වරාය, අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම සහ අනෙකුත් ප්‍රධාන සේවාවන් මෙයට ඇතුළත් වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ජූලි 10 වැනිදා සිට ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ජුලි 10 වැනිදා සිට ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් බස් රථ ධාවනය සීමා විය හැකි බවයි.

පවතින තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා කණගාටුව පළ කළේය.