FAST NEWS

24×7 Around the Globe

රුසියානු ජනාධිපතිගෙන් මෛත්‍රීට ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ ලිපියක්, රුසියානු තානාපති යුරි මැටෙරි මහතා රැගෙන පසුගියදා කොලඹ පිහිටි නිළ නිවසට පැමිණෙන ලදී.

Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී.

අදාල ලිපියෙන් ඔහු ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්, එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී. එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව පැවසීය.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් එම එකඟතාවය ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ලදී.