FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන පිරවුම්හල් අසල චණ්ඩි ගැන පොලීසිය සොයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පාතාලයට සම්බන්ධ පිරිස් පෝලිම්වල රැඳී සිටින ජනතාවට සහ පොම්පකරුවන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඉන්ධන ගැනීම් සිදු වන්නේ දැයි සොයා බැලීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

ඒ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වී තිබීම සැලකිල්ලට ගෙනය.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේ පොලිස් ස්ථාන මට්ටමින් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සොයා බැලීමක් සිදු කරමින් ඇති බවය. ඊට අමතරව බුද්ධි අංශවලින්ද තොරතුරු ගන්නා බව එම නිලධාරියා කීය.

සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිස් සහ හමුදා ආරක්ෂාවක් දී ඇති පසුබිමක සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් සිටී නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.