FAST NEWS

24×7 Around the Globe

පොලිසියෙන් පාපැදි පරීක්ෂා කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දෙසතිය තුළ මාර්ගයේ ගමන් ගන්නා පාපැදි පිළිබඳව පොලිසිය විශේෂ පරීක්‍ෂාවක් සහ උපදෙස් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මේ දිනවල රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් පාපැදි භාවිතයට යොමුවෙමින් පවතින බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ දිසාපතිවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් ද ඔහු විසින් නිකුත් කර තිබේ.

මේ වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1202ක් සිදුව ඇති අතර ඉන් 96ක් පාපැදිකරුවන් බව පොලිසිය පවසයි.

බයිසිකල්වල ප්‍රධාන ලාම්පු නොමැතිවීම, ප්‍රධාන පහන් දැල්වීමට අපොහොසත් වීම, පසුපස පරාවර්තක ආලෝකය නොමැතිකම, මාර්ග සංඥාවලට අකීකරු වීම, පාර මාරුවීම අනතුරුවලට ප්‍රධාන හේතුවයි.

ඉදිරියේදී පාපැදිකරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වමින් තම වාහන ධාවනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් සහ යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලීමක් කළා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පාපැදි පැදවීමේදී පරාවර්තක ඇඳුම් සහ ආරක්ෂිත ආම්පන්න පැළඳිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.