FAST NEWS

24×7 Around the Globe

ලෝටස් පාරේ සිටි 21ක් පොලිස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාලු මුවදොර සිටින විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙකක් අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 21දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

අදාළ විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට සහ මහ භාණ්ඩාගාරයට භාවිත කරමින් තිබූ දොරටු දෙකක් අවහිර කිරීමට කටයුතු කර තිබුණි. එබැවින් එම කාර්යාලවල අත්‍යවශ්‍ය සේවා සදහා වාර්තා කරන නිලධාරීන්ට මෙන් ම අවශ්‍යතා සදහා පැමිණි මහජනතාවට කාර්යාල තුළට යාමටත් කාර්යාල තුළ සිටින පිරිසට පිටතට පැමිණීමටත් නොහැකි තත්ත්වයක් උද්ගත විය.

එසේම මේ හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා ඇති වූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව පොලිසිය හා විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වී අදාළ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී විරෝධතාවයේ යෙදුනු බෞද්ධ භික්‍ෂුවක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16දෙනෙකු ඇතුළු 21දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොටුව පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.