(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව දැනට වසර හැත්තෑවකට පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර එය ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයකට තුඩු දී ඇත.
ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව සමඟ සමීප සහ දිගුකාලීන සබඳතාවක් පවතී. ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වේලාවට උපකාර කිරීමට පමණක් නොව, මෙම අර්බුදය දිගටම පැවතුනහොත් කලාපයට ගැඹුරු ප්‍රතිවිපාක ද ඇති විය හැකි බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවට ඔවුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි ආහාර ආධාර සඳහා ලෝක ආහාර වැඩසටහනට ඕස්ට්‍රේලියාව වහාම ඩොලර් මිලියන 22 ක් ලබා දෙන බවද සදහන් කෙරේ.
ඔස්ට්‍රේලියාව 2022-23 වසර තුළ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 23ක් ද ලබා දෙනු ඇත.
මෙය සෞඛ්‍ය සේවාවන්ට සහ ආර්ථික ප්‍රකෘතියට සහයවන අතර අවදානමට ලක් වූවන්, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.








