FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක අන්සතු ගමන් බලපත්‍ර 300ක් – මවක හා දියණියක අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිළිබඳව පසුගියදා කාර්යාංශය වෙත තොරතුරු ලැබුණු අතර, ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අදාළ ස්ථානයේ වැටලීම් කර ඇත.

එහිදී එම නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය මවක හා දියණියක විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ගමන් බලපත්‍ර 301ක් හා විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරින් භාරයට ගෙන ඇත.

අදාල සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර කොස්ගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු විසින් පුද්ගලයින් දස දෙනෙකු වෙත රු.35000 බැගින් මුදල් බෙදා දී තිබේ. ඔවුන් තවත් අයගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇත්දැයි සොයා බැලීම සඳහාඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3ක් මත මුදාහරින ලද අතර නඩුව 2022.07.01 දින යළි කැඳවීමට නියමිතය.

මේ අතර, මරදාන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් සිටින මවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ රැකියාවක් සඳහායැවීමට උත්සහ කළ උප ඒජන්තවරයින් දෙදෙනෙකු කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අදාළ කාන්තාවගේ සැමියා විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජූනි මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට පිළියම් ලෙස විශාල පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල ඇති වී තිබෙන අතර, ඒ හා සමගම වංචනික අයුරින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පිරිසද ඉහළ ගොස් තිබේ. විදේශ රැකියා සම්බන්ධ තොරතුරු කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය. එබැවින් මෙවැනි වංචනික පිරිස් වලට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.