FAST NEWS

24×7 Around the Globe

දිවුරුමටත් කලින් ධම්මිකගේ මන්ත්‍රීකමට නඩුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර තිබුණි.

එම තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පුරපාඩු වූ විට ඒ සඳහා පත් කිරීමට හැකියාව ලැබෙන්නේ මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් පුද්ගලයකුට පමණක් බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ නොමැති බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.