(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට තවත් අමෙරිකන් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැලසීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින අතර එම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට දීමට අදාළව ඉන්දියාව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම වෙනුවෙන් මේ දක්වා කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
පසුගිය පෙබරවාරි මස 02 දා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය එක්සිම් බැංකුව අතර අත්සන් කළ ගිවිසුමකට අනුව ඉන්ධන මිලට ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දී තිබෙන අතර ඒ යටතේ ඉන්ධන මෙට්‍රික් ටොන් 384,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන බවද එම මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඊට අමතරව පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඉන්දීය සංචිත බැංකුව අතර අමෙරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරුවක් කර තිබෙන අතර මාර්තු මාසයේ 17 දා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රාජ්‍ය බැංකුව අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් දී තිබේ.
මෙම මූල්‍ය පහසුකම් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිව තිබෙන අතර ඉන්දියානු සංචිත බැංකුව, විදේශ විනිමය ආධාරක මාධ්‍යයක් ලෙස ආසියානු නිෂ්කාශන සංගමයේ රාමුව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වටිනා ගෙවීම් කල්දැමීමට ද තීරණය කර ඇත.








