FAST NEWS

24×7 Around the Globe

ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වීම ගැන පරීක්ෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල විදුලි බලාගාර කිහිපයක් ඊයේ(09) උදෑසන අක්‍රීය වීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙසේ ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වීම හේතුවෙන් ඊයේ අලුයම ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි විය.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය ජල විදුලි බලාගාර අක්‍රීය තත්ත්වයට පත් විණි. රන්දෙණිගල, රන්ටැඹේ, සේනානායක සමුද්‍රය වැනි විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලින් විදුලිය නිපදවීම නවතා දමා ඇති බවත් මිනිපේ ඇළ හරහා ගොවිබිම්වලට ජලය සැපයීමට ද නොහැකිව ඇති බවටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය විණි.

විදුලි බලාගාර අක්‍රීය කරන්නේ නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දන්වා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද පැවතියත් බලාගාර අක්‍රීය කරන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දන්වා නැති බව ද එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අනාවරණය කෙරිණි. මේ තත්ත්වය මත ඊයේ අක්කර 150,000ක ගොවි බිම්වලට ජලය නොලැබී ගොස් ඇති බව ද එහිදී වැඩි දුරටත් පැවසිණි. ඊයේ (9) වූ ආකාරයෙන් විදුලි විසන්ධි වීමට නැවත ඉඩ නොතබන ලෙස දන්වමින් මහජන ‍උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලය වෙත බලාත්මක කිරීමේ නිවේදනයක් (Enforcement Order) ඊයේ සවස නිකුත් කළේය. ඊයේ රට පුරා ප්‍රදේශ කිහිපයක වූ මේ විදුලි විසන්ධි වීම මහජන උපයෝගිතා කොමිසමේ අනුදැනුමින් තොරව සිදු වූ බව ද එම කොමිසමේ සභාපතිවරයා පැවසීය. එම තත්ත්වය මත ඊයේ දින වූ විදුලි විසන්ධි වීම කඩාකප්පල් ක්‍රියාවක් ද යන්න ගැන විමර්ශනයක් කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති විට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම නීති විරෝධී බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

රටේ ජනතාව විවිධාකාර අර්බුදවලට පත්ව සිටින සමයක මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා විදුලි පාරිභෝගිකයන් තව තවත් අපහසුතාවට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ජනක රත්නායක මහතා ඊයේ (9) දහවල් පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති අවස්ථාවක එයට එරෙහිව කටයුතු කරන්නන්ට බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඬුවමක් සහ දඩ මුදලක් ද පැනවීමට අධිකරණයට හැකියාව ඇති බව ජනක රත්නායක මහතා පැවසීය.