(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙංගු වසංගතය යළි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇත.2022 වර්ෂයේමේ දක්වා ඩෙංගු රෝගීන් 26,622දෙනෙකු හඳුනාගෙන ඇත. පසුගිය දින 08 ඇතුලත පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා විය.බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
“අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු”මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ( 09 )පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සමරවීර මහතා මේ බව සදහන් කළේය.
ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.පසුගිය සතිය තුල වාර්තා වූ රෝගීන් විශ්ලේෂණය කර බැලීමේදී අධි අවදානම් සහිත සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස82ක් හඳුනා ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඩෙංගු වෛරසය ශරීරයට ඇතුළු වීම මදුරුවකු මගින් සිදුවන නිසා මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන විනාශ කිරීමෙන් වෛරසය පැතිර යාම පාලනය කලහැකි බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.
ගෘහස්ත, කාර්යාල, වැඩබිම් ,විශාල ආයතන හා ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝ වීම වැඩි වශයෙන් දැකගත හැකි වේ.මදුරුවකු බෝ වීමට දින හතක පමණ කාලයක් ගතවීම නිසා සතියකට වතාවක් ගෘහස්ත, කාර්යාල, වැඩබිම්, විශාල ආයතන හා ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථාන වල ජලය රැඳෙන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට ක්‍රමවේද සැකසිය යුතු බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.වර්තමාන තත්ත්වය තුල රටෙහි ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩයම් දුරකට නවතා දමා ඇති නිසා එවැනි ස්ථාන හඳුනාගෙන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් පරිදි මදුරු මර්දනයට සුදුසු රසායනික ද්‍රව්‍ය ඉසීම කළ යුතුයි.
මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍යවරයකු මුණ ගැසී පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කරගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දුන්නේය.
බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගය පැතිරයාම අවම කිරීමට ජුනි 15 සිට 21 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් නම් කර තිබේ.තම ගෙවත්තේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා තම ප්‍රදේශයේ පොදු ස්ථාන වල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් ඩෙංගු අවදානම තුරන් කරගැනීමට ජනතාවට දායක වනලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා ඉල්ලීමක් කළේය.








