FAST NEWS

24×7 Around the Globe

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය අක්‍රිය වෙයි – පාස්පෝට් නිකුත් කිරීමේ ගැටළුවක් !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ ගමන් බලපත්‍ර සකස් කිරිම සඳහා ලබා ගන්නා ඡායාරූප ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ යොමු කරන මෘදුකාංගය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව ඡායාරූප හිමියන්ගේ සංගමය පවසනවා.

එම නිසා විදේශගත වීමට අපේක්ෂිත සියලු පුද්ගලයින්ට ඡායාරූප ලබාගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුවන බවයි ඡායාරූප හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ සඳහන් කළේ.

විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ජනතාව පැමිණ ඇතිවන තදබදය අවම කිරිම සඳහා නව තාක්ෂණය භාවිතා කරමින් මෙම මෘදුකාංගය හඳුන්වා දුන්නේ මීට වසර කිහිපයකට පෙරයි.

ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලයෙකුට තම ප්‍රදේශයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූපශාලාවකින් අදාළ ඡායාරූපය ලබා ගෙන ඔන්ලයින් ක්‍රමයට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමේ හැකියාව පැවතුණා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත දින ගණනාවක් පුරා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන අතර ඔවුන්ට දිවා – රෑ නොතකා දින ගණනාවක් පුරා අඛණ්ඩව පවතින දිගු පෝලිම්වල රැඳී සිටීමටයි සිදුව ඇත්තේ.

ඡායාරූප හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ මෘදුකාංගය අක්‍රීය වීම හමුවේ තම ඡායාරූප ආයතන වෙත ජනතාව නොපැමිනීමත් සමග සිය අදායම් අහිමි වී ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.