හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුදොර විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සකකරුවකු ලෙස නම් කිරීමෙන් පසු වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (09) සවස භාර වීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබූ අතර, විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කළේය. ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස ද නියෝගයක් නිකුත් කෙරිණි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම පරිදි ප්‍රකාශයක් දීමට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ගාලුමෝදර, ‘අරගලය‘ට ඉකුත් මස 9 දා පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය ඊයේ (9) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (9) රාත්‍රි 8.00ට පෙර ඉදිරිපත් වන ලෙස එම නියෝගය කළ අභියාචනාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව එතෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

එසේම ඒ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුව දෙන තෙක්, අධිකරණයට භාර වන ඔහු සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාට නියම කෙරිණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මේ නියෝග කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.

ඇප ලැබීමෙන් පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත්වරයාගේ නිවෙසින් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය කළ විමසුමේදී පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ මැයි 9 දා අරලියගහ මන්දිරයේ තමා කළ ප්‍රකාශය මාධ්‍ය මඟින් සංස්කරණය කර ඉදිරිපත් කළ නිසා තමන්ගේ දේපොළ හානි වූ බවයි. තමා සැඟවී නොසිටි බවත් මැයි 9 දා අරලියගහ මන්දිරයේදී පැවති හමුවේදී කළ කතාව සංස්කරණය කිරීමකින් තොරව ප්‍රචාරය කරන ලෙස හිටපු ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.