FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී – විදුලිබල ඉංජිනේරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (08) රාත්‍රී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවය.

විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණි.

වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන 8.00 වන විට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවනු ඇති බව අදාළ වෘත්තීය සමිති සඳහන් කළේය. කෙසේවෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්තවය හමුවේ වැඩ වර්ජනයක නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

මෙම වැඩවර්ජනය සඳහා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමය සහාය ලබානොදෙන බව ද ප්‍රකාශ කළේය. එහි සභාපති ඒ.නිශාන්ත මහතා සඳහන් කළේ, අදාළ වැඩ වර්ජනය මේ මොහොතේ පිළිගත නොහැකි බවය.

මේ අතර මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට ඇති බවට වාර්තා වේ. ඒ අනුව අද (09) අළුයම 04.00 පමණ සිට හම්බන්තොට, කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ අතර කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර බලාගාර ක්‍රියාවිරහිත වී විදුලි උත්පාදනය නවතී.