FAST NEWS

24×7 Around the Globe

වැවිලි සමාගම් සතු ඌන උපයෝජන ඉඩම්වල ආහාර භෝග වගා අරඹන්න – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැවිලි සමාගම් සතු සියලු ම ඌන උපයෝජන ඉඩම් හඳුනා ගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

වැවිලි සමාගම් සතුව වගා නො කරන ලද ඉඩම් හෙක්ටයාර නවදහසකට අධික ප්‍රමාණයක් පවතියි. සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඊයේ (03) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තේ අපනයනයේදී රටට හිමි විය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහා ම සොයා බලන ලෙස ජනාධිපතිතුමා පැවසීය.
වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡා කෙරිණ. අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව දීමට තීරණය කරනු ලැබී ය.

තේ, රබර්, පොල් සහ අපනයන කෘෂි භෝග සඳහා ඉතිහාසයේ වැඩි ම මිල මේ වන විට ගොවීන්ට ලැබී තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් බී.එල්.ඒ.ජී. ධර්මකීර්ති යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් ව සිටියහ.