FAST NEWS

24×7 Around the Globe

රට පුරා ඩෙංගු පැතිරීමේ අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙංගු රෝගින් පැතිරීමේ අවදානමක් රට පුරා පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) ළමා රෝහලේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට නම් මදුරුවන් බෝ නොවන ලෙස පරිසරය ආරක්ෂා කරගැනීම වැදගත් බව කියා සිටි ඒ මහතා මේ අවස්ථාවේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

මේ දිනවල කුඩා දරුවන්ට උණ හිසරදය ඇඟපත වේදනාව සමේ ලප කැළැල් තිබේ නම් වහාම ඔවුන් රෝහලට රැගෙන යන ලෙස ඉල්ලා සිටින ඒ මහතා ඕනෑම රෝහලකින් ඩෙංගු ප්‍රතිකාර ලබා ගත හැකි බවද පැවසීය.

ඩෙංගු රෝගය පැතිර යෑමේ ඉහළ අවදානමක් පවතින බවත් එහෙයින් කුඩා දරුවෙක් නම් එක් දිනක් හෝ උණ පවතින්නේ නම් වහාම රෝහල් ගත කරන ලෙසත් ඉල්ලා සිටින අතර එසේ කටයුතු කිරීමෙන් දරුවන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වීම වළක්වා ගත හැකි බවද කීය.