FAST NEWS

24×7 Around the Globe

සුපිරි ඉන්දීය ගායක KK මියයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි ඉන්දීය ගායක ක්‍රිෂ්ණකුමාර් කින්නත් මියගොස් තිබේ. 53 හැවිරිදි මොහු ලෝක ප්‍රසිද්ධව සිටියේ කේ.කේ නමින්ය.

ඉන්දියාවේ කොල්කටාහී නස්රුල් මංචා ශ්‍රවණාගාරයේ පැවති ප්‍රසංගයකින් අනතුරුව මොහු මියගොස් ඇත.
ප්‍රසංගය අවසන් කර, යළි නවතැන් ගෙන සිටි හෝටලයට පැමිණි අවස්ථාවේ, එහි ඇදවැටී කේ.කේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කොල්කටා හී රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසයි. මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

1990 දශකයේ අගභාගයේදී යෞවනයන් අතර විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් ‘ පල් ‘ සහ ‘ යාරොන් ‘ වැනි ගීත තුළින් කේ.කේ ඉන්දීය රසික හදවත් වැළදගත්තා. “පල්” ඔහුගේ පළමු ගීත ඇල්බමයයි. එදා සිට අද දක්වා ස්වකීය රසෝත්පාදන,ලයාන්විතව හඬ පෞර්ෂයෙන් ඉන්දීය සිනමාපට රැසක් හැඩ කිරීමටද ඔහුට හැකිවුණා. කේ.කේ. හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත පටිගත කර තිබේ.

“කුදා ජානේ , අකොමෙ තෙරී, තුහි මෙරි ෂබ හේ” වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කරනු ලැබ ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට දේශපාලන නායකයින්, නළු නිළියන් සහ සුවහසක් රසිකයින් කේ.කේ ගේ වියෝව වෙනුවෙන් ශෝකය පළකර කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කේ.කේ ගේ වියෝව පිළිබඳ ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.