(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
පුර්ණ කොවිඩ් එන්නත්කරණය අනිවාර්යය කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.
අප්‍රේල් මස 30 වනදා සිට පුර්ණ එන්නත්කරණයට ලක්නොවු පුද්ගලයින්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් මීට පෙර ප්‍රකාශයට පත් කළේය.
කෙසේවෙතත් ඊයේ (01) දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව මීට පෙර නිකුත් කළ අංක 2264 / 09 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 101 නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කර තිබේ.
පුර්ණ එන්නත්කරණය නොමැති පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළු නොවිය යුතු බවට අදාළ 101 නියෝගයේ දැක්වේ.
මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 663,373ක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ආසාදිතයින් 742 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
කෙසේවෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 646,126 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයෙකුගේ මරණයක් අප්‍රේල් මස 30 වනදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.








