FAST NEWS

24×7 Around the Globe

මැයි දින පෙළපාලි සහ රැලි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමී ව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම, වෘත්තීය සමිති රැසක් දිවයින පුරා මැයි දින පෙළපාලි සහ රැලි සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය, වානිජ ප්‍රගතිශීලි සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව සංවිධාන කරනු ලබනවා.

ජනවරම සුරකිමු අභියෝග ජයගමු යන තේමාව යටතේ අද පස්වරු 2ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පීඨයේ දී මෙම මැයි රැලිය පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ මැයි රැලිය මෙවර පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින්.

පසුගිය 26 වැනිදා සමගි ජන බලවේගය මහනුවරින් ආරම්භ කළ පා ගමනේ අවසන් දිනය අදයි.

එය බොරැල්ල – කැම්බල් පිටියෙන් ආරම්භ වී පාගමනින් නිදහස් චතුරස්‍රය වෙත ගමන් කරනු ඇති.

නිදහසේ අරගලය යන තේමාව යටතේ පස්වරු එකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වීමට නියමිත බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය අද පෙරවරු 10ට ආරම්භ වන්නේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දීයී.

මීට අමතරව මැයි දිනයට සමගාමීව දිවයින පුරා නගරවල ආණ්ඩුවට එරෙහි විරෝධතා රැසක් සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ.

එසේම, ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලි 04 ක් සංවිධානය කර තිබෙනවා.

එහි ප්‍රධාන මැයි පෙළපාළිය පස්වරු 1ට මාලිගාවත්ත – පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී පස්වරු 3ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතයි.

පසුව එම ස්ථානයේදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන මැයි රැලිය පැවැත්වෙන්නේ ජන පීඩක ආණ්ඩුව පන්නමු – ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේයී.

මීට අමතරව අනුරාධපුරය, මාතර සහ යාපනය යන නගරවල ප්‍රධාන මැයි රැලි සංවිධානය කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ.

එසේම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය අද පස්වරු 3ට විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන අතර ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂවල මැයි රැලිය පස්වරු 3ට පැවැත්වෙන් කොළඹ – හයිඩ් පිටියේදීයි.

ජාතික නිදහස් පෙරමුණේ ද මැයි රැලිය පස්වරු 3ට බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේ දී ආරම්භ වනවා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය කොළඹ නව නගර ශාලාවේදී මැයි දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම, නිර්පාක්ෂික වැඩකරන ජනතා මැයි දින රැලියක් මෙවර ගාලු මුවදොර පිහිටි අරගල භූමියේ දී ආරම්භවන්නේ පස්වරු 2ටයි.