FAST NEWS

24×7 Around the Globe

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පස්වරුවේ කොළඹදී ඒ මහතාව අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

රඹුක්කනදී පසුගියදා ඇතිවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ඔහු කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබුණි.

ලබාදී ඇති අධිකරණ ක්‍රියාමාර්ග අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා විසින් CIDය වෙත දැනුම්දුන් බවය.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 27 වනදා නියෝග කළේ රඹුක්කන වෙඩිතැබීමේ සහ පුද්ගලයෙක් මියයෑමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

අදාළ නියෝගය අද (28) පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ සිදුවු විරෝධතාවයක් අතරතුරදී පොලිස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ චමින්ද ලක්ෂාන් නැමති දෙදරු පියා ජීවිතක්ෂයට පත්වුණි.