FAST NEWS

24×7 Around the Globe

අරලියගහ මැදුර වට කර සිටින ‘විරෝධතාකරුවන් ගැන’ උසාවියෙන් දුන් තීන්දුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද (25) ප්‍රතික්ෂේප කළා.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවත් එම පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නා.

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පලකරමින් යම් පිරිසක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේදී උද්ඝෝෂණයේ යෙදී ඇති බවත්, මේ හේතුවෙන් එම මාර්ගයේ පදිකවේදිකාව භාවිත කරන ජනතාවට මහත් හිරුහැරයක් සහ කරදරක් සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.