FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද යළි වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 3 වනදා සිට වසා දමන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විදේශ විනිමය අර්බූදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතා මත එලෙස වසා දමන ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ජනවාරි 30 වැනිදා සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීම කොන්ත්‍රාත්තුව ප්‍රධානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ආරම්භ වන්නේ ජනවාරි 26 වනදා සිටයි.

බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිතා වන මර්බන් වර්ග‌යේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90 ට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතු බවත්, හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීම ද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බව ත් අදාළ නිවේදනයේ සඳහන් ය.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනමින් බොරතෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බවයි.

කෙසේ වෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටේ පෙට්ට්‍රල් අවශ්‍යතාවෙන් 14 % සහ ඩීසල් 29 %ක් පමණක් සපයන බැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය අදාළ නිවේදනය මගින් සහතික වී සිටී.