FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ගාස්තු ගෙවීම QR ක්‍රමයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීම අද සිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දැනට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනීමට නියමිතව තිබේ.

Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවීමට හැකියාව ලැබෙනු ඇති.

එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය (Scan) කිරීම පමණි.

මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම, මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම, සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම, අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදී ප්‍රතිලාභ හිමිවනු ඇති.