FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාවෙන් ඩෙල්ටාවට වඩා ප්‍රබල කොරෝනා ප්‍රභේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් සොයා ගැනුණු ප්‍රබලතම කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස සැලකිය හැකි නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

එහි එක් ප්‍රාන්තයකින් වාර්තා වුව ද මෙම ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

බී – එක – එක – පන්සිය විසි නවය ලෙස හඳුන්වන මෙම නව කොරෝනා ප්‍රභේදය මෙතෙක් සොයා ගැනුණු වැඩි ම පරිණාමයට ලක් වූ කොරෝනා ප්‍රභේදයයි.

එය, ඇල්ෆා, ඩෙල්ටා ආකාරයට ග්‍රීක හෝඩියේ අකුරකින් නම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු වසංගත රෝග ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටුලියෝ ඩි ඔලිවේරා සඳහන් කළේ, මෙම නව කොරෝනා ප්‍රභේදයේ විකෘතිතා 50කට අධික සංඛ්‍යාවක් පවතින බවයි.

ඉන් 30 ක් එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන් කොටස ඉලක්ක කරගත් ඒවායි.

මේ නිසා නව ප්‍රභේදය අනෙකුත් කොරෝනා ප්‍රභේදවලට වඩා එන්නත්වලින් ලබන ප්‍රතිශක්තිය මඟ හරිමින් වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සඳහන්.