FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුව අසාදු ලේඛනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ඔවුන් සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් මෙම පියවර ගනු ලැබූ බවය.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දෙන බව චීන තානාපති කාර්යාලය පවසයි.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතල පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල 2 ක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට තීරණය කර තිබේ.

ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස මේ වනවිට අතුරු නියෝගයක්ද නිකුත් කර තිබේ.