සීනිවල පාලන මිල ඉවත් කරන්න

සීනිවල පාලන මිල ඉවත් කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොළේ සීනි මිල යළිත් ඉහළ ගොස් ඇති අවස්ථාවක සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

මේ වනවිට සීනි සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද යළිත් වෙළදපොළේ සීනි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, අද වන විට වෙළඳපොළේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එසේම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් රුපියල් 125ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 138ක මිලකට බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.