පළාත් සීමා මායිම් කේන්ද්‍ර කර අද සිට විශේෂ මෙහෙයුම්

පළාත් සීමා මායිම් කේන්ද්‍ර කර අද සිට විශේෂ මෙහෙයුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලූ පළාත් මායිම් ආවරණය වන පරිදි සහ අධිවේගී මාර්ගයේ ද පළාත් සීමා මායිම් ඇතුලූ සියලූ පිටවීම් සහ ඇතුලූවීම් ස්ථාන ද කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලූම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරන ලෙසටයි සියලූම මාර්ග බාධක රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දී ඇත්තේ.

පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ දීර්ඝ සති අන්තයේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය වන ආකාරයෙන් වන්දනා චාරිකා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසටයි.

සති අන්තය සමග එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අවස්ථා පිළිබඳ පොලිසියේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

ආගමික සිද්ධස්ථාන / ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් පැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

එබැවින් සති අන්තයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල රැඳී සිට දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පමණක් කටයුතු කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මේ අතර අද සිට අන්තර් පළාත් ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීමට රජය ද තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කර තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.