බස්නාහිර කොවිඩ් රෝගීන්ට නව ක්‍රමවේදයක්

බස්නාහිර කොවිඩ් රෝගීන්ට නව ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ නිවෙස්වල තබා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දුරකතන ඇමතුම් සහ කෙටි පණිවුඩ මගින් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව, එම කොරෝනා ආසාදිතයා ශ්වසන අපහසුතා ඇති රෝගියෙක් නම් A අකුර සටහන් කර වයස, හැඳුනුම් පත් අංකය සහ ලිපිනය සඳහන් කර 1904 අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ යුතු අතර එම රෝගියා උණ රෝගී තත්ත්වයක පෙළෙන කෙනෙකු නම් B අක්ෂරය ද කිසිදු රෝග ලක්ෂණයක් නැති කෙනෙකු නම් C අක්ෂරය ද සටහන් කර අදාළ දුරකතන අංකයට යොමු කළ යුතුය.

එලෙස ලැබෙන තොරතුරු කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලබන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් අනතුරුව රෝගීන් සම්බන්ධීකරණය කර රෝගී තත්ත්වය සලකා බලා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව එම මධ්‍යස්ථානය පැවසීය.

එමෙන් ම නිවෙස් නිරෝධායන වන රෝගීන්ට 1390 හරහා උපදෙස් ලබා ගත හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.