FAST NEWS

24×7 Around the Globe

හෙට වැටෙන ආකාශ වස්තුව නිරීක්ෂණයට ග්‍රහලෝකාගාරයෙන් පහසුකම්.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට හෙට දිනයේ පතිතවීමට නියමිත WT 1190F ලෙස නම් කර ඇතිආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයේ සිට නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

හෙට පෙරවරු 11.45ට පමණ මෙම ආකාශ වස්තුව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළේ සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙනු ඇති බවට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව උදෑසන 10.00ත් දහවල් 12.30ත් අතර කාලය තුළ මෙම ආකාශ වස්තුව නිරීක්ෂණ කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රහලොකාගාරය කටයුතු යොදා ඇති බව සඳහන්ය.

අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් මෙලෙස පතිතවීමට නියමිත බව පැවසෙන අතර එය 1960 – 70 සමයේ චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයක කොටසක් බවට ද විද්‍යාඥයන් විශ්වාසය පළ කරයි.

පෘථිවි වායුගෝලයේදී එම ආකාශ වස්තුවේ වැඩි කොටසක් දැවී යන අතර ඇතැම් විට පෘථිවියට පතිතවන්නට පෙර එය සම්පූර්ණයෙන් ම දැවී අවසන් වීමට ද හැකියාව පවතින බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

හෙට දිනයේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසට ද බලාධාරීන් ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.