FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රක්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

ඌව පළාතෙත් අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු – උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

මේ අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි වේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.