සධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (12) පස්වරුවේ දැයෙන් සමුගනිති.
උන් වහන්සේගේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය සියලූ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී අද(12) පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිත ය.
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (12) ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
නා හිමියන්ගේ දේහය කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ ධර්ම ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා අද දහවල් 12 දක්වා ඉඩකඩ ලැබෙයි. පස්වරු 1.30ට ශ්‍රී දේහය ආදාහන මළුව කරා වැඩ කැරවීම ඇරැඹෙයි.
රිය පෙරහර කෝට්ටේ පාර ඔස්සේ පැමිණ කුළුණ හන්දියෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිස, පොල්දූව හන්දිය දක්වා ගමන් කර එතැනින් පාර්ලිමේන්තු මාර්ගයට පිවිස ආදාහන මළුවට පැමිණීමට නියමිත ය.
රිය පෙරහර පස්වරු 3.00 පමණ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා වනු ඇතැයි අපේකෂා කෙරෙන අතර ඉන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
දේහය රැගත් පෙරහර ගමන් ගන්නා මාර්ගය සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
අද දිවයිනේ සියලූ මත්පැන් අලෙවිසල් වසා තැබීමට, මස් පිණීස සතුන් ඝාතනය සහ මස් අලෙවිය ද තහනම් කිරීමටත් රජය තීරණය කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලූ සිනමා ශාලා ද වසා තැඛෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ සියලූ පිරිවෙන් සඳහා ද නිවාඩු ලබා දී තිබේ.
උන් වහන්සේට ගෞරව කිරීමක් ලෙස සෑම රාජ්‍ය ආයතනයකම හා නිවසකම කහ වර්ණ ධජයක් ඔසවා ශෝකය පළ කරන ලෙස ද රජය ඉල්ලීමක් කර ඇත.







