අද ඇප මත මුදා හැරීමට නියමිතව සිටි කොටි සැකකරුවන් තිස් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් නොවැම්බර 24 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබිණී.
ඔවුන් මුදා හැරීම පිළිබඳව නීතිපතිගෙන් උපදෙස් නොලැබීම ඊට හේතුව බව අධිකරණයේ දී කියැවිණි.
————————————————-(Update)
එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට පියවර.
එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (11) අදාළ රජයේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදීමට නියමිත බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116කට නඩු පවරා ඇති බවයි. ඉන් 52කට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර ඉන් 10ක් අභියාචනා ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ජනපති, අගමැති, හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
අදාළ සැකකරුවන්ගේ නීතිඥ මහත්වරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් අනතුරුව අදාළ අයදුම්පත් එම අධිකරණ මගින් සලකා බලනු ඇත.
මීළඟ අදියරේදී තවත් රැඳවියන් 32ක් ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමට අදහස් කෙරේ.
සෙසු රැඳවියන් සම්බන්ධයෙන් ද පවත්නා නඩු කටයුතු අධ්‍යයන කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ලක්වූ අතර අධිකරණ ඇමතිවරයා ද මේ ගැන අද තීරණයක් ගන්නා බව පවසා තිබුණි.







